Tuesday 19th of May 2026

English Tamil
Advertiesment


යුද්ධය යනු කිසි දිනෙක අභිෂේක කළ යුත්තක් නොවේ 


2026-05-19 1242

 

 

රුධිරයෙන්-කඳුළින් ලියැ වුණු  ඉතිහාසය නිමා කරන්නට දිවි හිමියෙන් කැප වූ රණවිරුවන්ට උත්තමාචාරය

 

යුද්ධය ජය ගැනීමට නායකත්වය දුන් දේශපාලන නායකත්වයට ආචාරය 

 

යුද්ධයෙන් ජීවිතක්ෂයට පත් සියලු දෙනා කෙරෙහි ජාති-ආගම් භේදයෙන් තොරව සොව පළ කරයි 

 

පටු පක්ෂ දේශපාලනය පසෙක තබා යුද්ධය දේශපාලන ශක්තිය දුන් යුග පුරුෂයා

 

බලය වෙනුවට ප්‍රතිපත්තිය තෝරා ගත් රාජ්‍ය පුරුෂයා 

 

ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය සංවේදී වෙයි..!

 

 

යුද්ධය යනු කිසි දිනෙක අභිෂේක කළ යුත්තක් නොවේ. මිනිසෙකු තවත් මිනිසෙකුගේ ලෙයින් තම ජයග්‍රහණය හෝ පරාජය සනිටුහන් කිරීම තරම් මෙලොව අඥානකමක් තවත් නැත. එහෙත්, දශක තුනක් තිස්සේ මව්බිමේ හදවත පලා දමමින්, ජාතික ධනයත්, තරුණ ජීවිතත් බිලි ගත් මහා සාපයකට ශ්‍රී ලාංකිකයන් ලෙස අපට මුහුණ දීමට සිදු විය. අද ඒ අමිහිරි අතීතයට තිත තැබූ දිනයයි. ලෙයින් සහ කඳුළින් ලිය වුණු ඒ ඉතිහාසය නිමා කරන්නට දිවි හිමියෙන් කැප වූ රණවිරුවන් සහ එදා දේශපාලන නායකත්වය, නිවැරදි සිහිබුද්ධියෙන් යුතු ජාතියක් ලෙස අප කෘතවේදීව සිහිපත් කළ යුතුය.

වසර තිහක් තිස්සේ මරණයේ සෙවනැලි මධ්‍යයේ, අවිනිශ්චිත හෙට දවසක් වෙනුවෙන් ගැහෙමින් තිබූ ජන හදවත් අපට අමතක නැත. බලයට පත් වූ විවිධ ආණ්ඩු මේ ලේ වැගිරීම් නැවැත්වීමට විවිධ මාවත් සෙවූහ. ඒ වෙනුවෙන් සමහර නායකයින්ට තම ජීවිතයෙන්ම වන්දි ගෙවන්නට සිදු විය; තවත් සමහරුන්ගේ ඇස්, ඉස්, මස්, ලේ මේ පොළොවට දන් දෙන්නට සිදු විය. ගම්බිම් පිටින් අළු දූවිලි වී යද්දී, සිල්වත් මහ සඟරුවන සමූල ඝාතනය වෙද්දී, මුලින් ජාතිවාදී මුහුණුවරකින් ඇරඹි සන්නද්ධ අරගලය කෙමෙන් කෙමෙන් සිත්පිත් නැති, මිලේච්ඡත්වය දක්වා පරිවර්තනය විය. මල් කැකුළු වන් කුඩා දූ දරුවන් මව්පියන්ගෙන් උදුරා ගෙන ගොස් සොල්දාදුවන් කළ බව වාර්තා විය. ඒ තත්ත්වය කෙතරම් බිහිසුණුද..? ලොව දරුණුතම සටන් ක්‍රමයක් වූ ම්ලේඡ්ඡ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මුළු රටම නැවත නැවතත් කම්පනයට පත් විය.

ආනන්ද මාතාවගේ සෙවනේදීත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේදීත් මා ඉගෙන ගත්තේ මව්බිමට පණ සේ ආදරය කරන්නටයි. එබැවින් මේ විනාශයන් දකිද්දී අප හදවත බලවත් වේදනාවෙන් සහ කම්පනයෙන් මිරිකී ගියේය. ලෝකයේ කුමන රටක, කුමන උසස් තැනක සිටියද දකුණු පපුවේ ශ්‍රී ලංකා ජාතික ධජය රැඳි ලාංඡනය දිදුලන්නට වූයේ ඒ නිසාමය. ලොව කොතැනක හෝ ජාතික ගීය ඇසෙන සැණින් නැගී සිට, දකුණත වම් පපුවේ තබා ගන්නා තරමටම දේශප්‍රේමය ලේ නහර පුරා දිව ගියේය. රටේ මිනිසුන් නසන, රටේ ධනය විනාශ කරන මේ සාපලත් යුද්ධය කෙසේ හෝ අවසන් විය යුතුය යන්න ජීවිතයේ දිනපතා දැල්වුණු ප්‍රාර්ථනාව විය.

මාවිල්ආරු සොරොව්ව වසා දැමීමත් සමඟ ඒ සඳහා වූ ඓතිහාසික නිමිත්ත උදා විය. එදා දේශපාලන නායකත්වයත්, රණවිරුවනුත් එක්ව ත්‍රස්තවාදයේ අවසානය සනිටුහන් කරන්නට දැවැන්ත මෙහෙයුමක් අරඹා තිබිණි. එහෙත් සටන මධ්‍යයේ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය හමුවේ ආණ්ඩුව අයවැයෙන් පැරදී බිඳ වැටෙන ලකුණු පහළ විය. බලපෑම් එල්ල වෙමින් තිබිණි. ජාතියේ සැබෑ නිදහස සහ විමුක්තිය ප්‍රාර්ථනා කළ අපට, ඒ තීරණාත්මක මොහොතේ එවකට ජනාධිපතිවරයා විසින් කළ ආරාධනය කිසිසේත්ම මඟ හැරිය නොහැකි විය.

මව්බිම වෙනුවෙන් උපදින ජයග්‍රහණයේ මහා පවුරට කුඩා හෝ වැලි කැටයක ශක්තියක් වන්නට පටු පක්ෂ දේශපාලන වාසි, තාන්න මාන්න පසෙක තැබු වෙමු. ආණ්ඩුව සමඟ එක්ව යුතුකම් කොටස පමණක් ඉටු කළෙමු. කාර්යය නිම වූ පසු නැවතත් නිහඬව ඉන් ඉවත් විය. කවදා හෝ දිනක හෘදය සාක්ෂිය විමසන විට, "එදා මම මගේ මව්බිම වෙනුවෙන් යුතුකම ඉටු කළෙමි" යන සිතිවිල්ල ආත්මයට සදාකාලික සහනයක් සහ සතුටක් ගෙන දෙනු ඇත.

අපේ රණවිරුවන් යුද වැදුණේ කවර හෝ ජාතියක් විනාශ කරන්නට හෝ ජන සංහාරයන් සිදු කරන්නට නොවේ. ඔවුන් සටන් කළේ දිනෙන් දින බලවත් වූ මිලේච්ඡ ත්‍රස්තවාදය මේ පොළොවෙන් මුලිනුපුටා දැමීමටයි; අකාලයේ නිකරුණේ මියැදෙන මිනිස් ජීවිතවලට අභයදානය දීමටයි; අපේ අනාගත දූ දරු පරපුරට මේ ජරාජීර්ණ, ලේ වැකුණු අතීතය වෙනුවට සැබෑ නිදහසේ හුස්ම ගන්නා සුන්දර මව්බිමක් දායාද කිරීමටයි.

අවසාන වශයෙන්...මේ මහ පොළොව වෙනුවෙන් සටන් වැදී මිය ගිය, ආබාධිත වූ වීරෝදාර රණවිරුවන් මෙන්ම, කිසිදු වරදක් නැතිව ත්‍රස්ත ප්‍රහාර හමුවේ දිවි අහිමි කරගත් සිංහල, දෙමළ සහ මුස්ලිම් සිවිල් වැසියන්ද එකලෙස සිහිපත් කරමු. එමෙන්ම, විවිධ පෙළඹවීම් සහ බල කිරීම් හෝ වැරදි මඟ පෙන්වීම් මත අවි අතට ගෙන යුද වැදී මිය ගිය ඒ අසරණ දරුවන් සහ තරුණයන් දෙසද මානුෂීය දෑසින් බලමින් ඔවුන්වද සිහිපත් කරමු. සියල්ලන්ටම සාමය අත්වේවා..!

 

 
-ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය-
 
නායක සහ සභාපති  
 
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.

 

Advertiesment